2021 ජුලි 24 වන සෙනසුරාදා

කළුකඩ දවස හතළිස් ගුණයකින් උස්සයි

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

I දේශපාලන වාර්තාකරු

පාරිභෝගික ආරක්ෂණ පනතේ දඩ දැනට තිබෙන ගණන මෙන් හතළිස් ගුණයකින් ඉහළ දැමීමේ වගන්තිය කඩිනමින් සම්මත කර ගැනීමට මේ සතියේ අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය.

ඒ අනුව යම් වෙළෙන්ඳෙක් සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ රජයේ පාලන මිලට වඩා මිලකට අලෙවි කළහොත් නියම කෙරෙන නව දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා (රු. 100,000/-) ඉහළ දැමෙනු ඇත. දැනට එම දඩය රුපියල් 2500/-කි.

දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති 75ක් වෙනස් කිරීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇතත් එම ක්‍රියාවලිය මඳක් ප්‍රමාද වන නිසා දඩ මුදල් ඉහළ දැමීමේ වගන්තිය පමණක් වෙනම සම්මත කර වහාම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට කරන ලද යෝජනාව පිළිගෙන මෙම තීන්දුව ගනු ලැබීය.