2021 ජුලි 24 වන සෙනසුරාදා

චීන එන්නතට වීසා පොල්ලක්

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

I සංජීවිකා සමරතුංග

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයන් විදේශගත වීමේදී ඇතැම් රටවල් වීසා බලපත්‍ර නිකුත් නොකිරීම නිසා බරපතළ ගැටලුවක් හටගෙන තිබේ.

යුරෝපා ප්‍රජාවට අයත් රටවල් රැසක් සහ කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් මෙලෙස සයිනොෆාම් එන්නත්ලාභීන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීම් ගැන පසුගිය දිනවල වාර්තා විය.

චීනය, යුරෝපා ප්‍රජාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් අතර හටගෙන තිබෙන දේශපාලන බල අරගලය නිසා සයිනොෆාම් එන්නත්ලාභීන් කෙරේ මෙම තීරණය ක්‍රියාත්මක වෙමින් පවත්නා වග රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතාගෙන් දේශය කළ විමසුමකට පිළිතුරු දුන් හෙතෙම ඇතැම් මැදපෙරදිග රටවල්ද මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගෙන ඇතැයි කීය. නිල නොවන මට්ටමින් කෙරෙන මෙකී වීසා වාරණය ගැන යුරෝපා ප්‍රජාවටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් විදේශ අමාත්‍යංශය ලිඛිතව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ප්‍රධාන එන්නත් කිහිපය අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතද වෙයි. එසේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සයිනොෆාම් එන්නත අනුමත කර තිබියදීත් සමහර රටවල් සිය අභිමතය පරිදි නිල නොවන වීසා තහනමක් පවත්වාගෙන යාම බරපතළ අසාධාරණයක් බව විදේශගත වන්නට අපේක්ෂා කරන අය පවසති. ඒ අතර යුරෝපා ප්‍රජාව මේ දක්වා සයිනොෆාම් එන්නත නිල වශයෙන් අනුමත කර නැති බවද වාර්තා වෙයි.

කොවිඩ් මර්දනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද එන්නත් භාවිත කරන්නන්ට සිදුවන මෙම අසාධාරණය ගැන එම සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මේ වනවිට සමාජ මාධ්‍යයන්ගේද දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.