2021 ජුලි 31 වන සෙනසුරාදා

NEWS බකට්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 39

මෝල්පතියෝ දේශපාලනයට ඉව අල්ලති

I දේශපාලන වාර්තාකරු

පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදකයන් හතර දෙනාගෙන් තවත් එක් සහල් නිෂ්පාදකයෙක් විපක්ෂයේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි. ඔහු මෙයට පෙර ශ්‍රීලනිපයේ ආසන සංවිධායක පදවියක් දැරූ කෝටිපතියෙකි. දැනටමත් නිපුන සහල් නිෂ්පාදක සිරිපාල ගම්ලත් මහතාද පොහොට්ටුවේ රාජ්‍ය ඇමැති පදවියක් දරයි.

ප්‍රාදේශීය සංවර්ධනයට බැසිල්ගෙන් ලොකු තෑග්ගක්

I දේශපාලන වාර්තාකරු

ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට ප්‍රාදේශීය සභාවලට හා ප්‍රාදේශීය සංවර්ධනය කරන රාජ්‍ය ආයතනවලට යන්ත්‍රෝපකරණ තොගයක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය සභාවලට ඩෝසර්, ලෝඩර්, ප්‍රෝඩර් හා ඩබල් කැබ් රථ සැපයීම සඳහා සියල්ල සූදානම් කර තිබේ. මෙලෙස රටට ගෙන්වන විවිධ යන්ත්‍ර සූත්‍ර 4100ක් සඳහා රුපියල් කෝටි 900ක් පමණ දැනටමත් වෙන්කර ඇත.

ලාෆ්ස් ඉවත් වෙයි: ගෑස් වෙළෙඳාම ලිට්රෝ අතට

I ව්‍යාපාරික වාර්තාකරු

ලාෆ්ස් ගෑස් සමාගම දිගින් දිගටම පාඩු ලැබීම නිසා වසා දමා තිබේ. සමාගම සතු ගෑස් පිරවුම් හලද මේ සතියේ වසනු ලැබීය. ලාෆ්ස් සමාගම වසා දමන විට මෙරට ගෑස් අලෙවියෙන් 30%ක ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබිණි. ඔවුන් වැඩිපුර නිෂ්පාදනය කළේ කර්මාන්ත සඳහා අවශ්‍ය කාර්මික ගෑස්ය. ඉතිරි 70%ක ගෑස් ලිට්රෝ සමාගම නිපදවීය. ඉදිරියේදී 100%කට ගෑස් ඒකාධිකාරය ලිට්රෝ සමාගම සතු වෙයි.

උතුරු පළාත් සභාවට දකුණෙන් ලේකම්වරයෙක්

I දේශපාලන වාර්තාකරු

උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරයට වව්නියාව හිටපු මහ දිසාපති සමන් බන්දුලසේන මහතා ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී. ඔහු සිය ධුරයේ පසුගියදා වැඩ බාරගත්තේය. දෙමළ සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් පමණක් මෙම පත්වීමට තමන් එකඟ නැතැයි ප්‍රකාශ කර තිබිණි. මෙයට පෙර එම තනතුර දැරුවේ ඒ. පතිනාතන් මහතාය.