2021 ජුලි 31 වන සෙනසුරාදා

මැණික විකුණන්න රට වෙළෙඳුන් මෙරටට ගෙන්වන්න

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 32

| අජිත්ලාල් ශාන්තඋදය

ලංකාවෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගලට උපරිම මිලක් ලබාගැනීම සඳහා විදෙස් ගැනුම්කරුවන්ට කඩිනමින් කැඳවිය යුතු බව මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති, ගෙවුඩ මැණික් පිළිස්සීමේ විශේෂඥ පුන්සිරි තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

වටිනා වස්තූන්වල අයිතිකරුවන් වීමට කැමති ලොව ධනවතුන්, දුර්ලභ ඛණිජ සහ වෙනත් සම්පත් එකතු කරන ධනවතුන් අතර තරගකාරී බවක් ඇතිකිරීමෙන් මෙම මැණික් ගලට උපරිම මිලක් ලබාගැනීමට උපක්‍රමශීලී විය යුතු බවද පුන්සිරි තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. මෙම මැණික් ගලේ හිමිකරු තම සංගමයේ සාමාජිකයෙක් බවද ඔහු කියයි.

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්, ස්විට්සර්ලන්තයේ ජිනීවා, හොංකොං, ඩුබායි ආදී ලෝක ප්‍රසිද්ධ මැණික් ප්‍රදර්ශන පැවතියේ නම් මේ මැණික් ගල විශාල මුදලකට විකිණීමේ ඉඩක් තිබූ බවද ඔහු සඳහන් කළේය. කොවිඩ් වසංගත තත්ත්වය නිසා වසර එකහමාරක පමණ කාලයක සිට එම මැණික් ප්‍රදර්ශන නොවැපැත්වෙන බවද තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

දුර්ලභ බව, ප්‍රමාණය, කෞතුක වටිනාකම යන අංග හේතුවෙන් මෙම මැණික් ගලේ වටිනාකම වැඩිවීමට හේතුවක් බවද පුන්සිරි තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් ගල අමෙරිකන් ඩොලර් මිලයන 200ත් 250ත් අතර වටිනාකමක් ඇති බවය. මැණික් වාපාරය සම්බන‍්ධයෙන් රජයේ වර්තමාන නිදහස් බදු ප්‍රතිපත්තිය අයිතිකරැට විශාල සහනයක් වන බවද මැණික් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.