I සංජීවිකා සමරතුංග
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුළ ශීඝ්‍ර වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනපතා දරුවන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරෙන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දේශයට කීය.
මෙලෙස කොවිඩ් රෝගී දරුවන් වැඩිපුර ඇතුළත් වීම නිසා දැනට රෝහලේ වාට්ටු හතරක් ඒ සඳහා වෙන්කර තිබේ. මේ හැර තවත් එක් වාට්ටුවක් අතිරේකව ලබාගැනීමට දැනටමත් ඉල්ලීම් කර ඇතැයිද දැනගන්නට ඇත. මේ හැර රාජගිරිය ආයුර්වේද රෝහලේ කොවිඩ් රෝගී වාට්ටුව භාරව ඇත්තේද රිජ්වේ ආර්යා ළමා රෝහලටයි.
කොවිඩ් ආසාදිතව රිජ්වේ රෝහලට රැගෙන එන වයස අවුරුදු 2ත් 14ත් අතර දරුවන්ට විශේෂ සංකූලතා සහ වෙනත් රෝගී තත්ත්ව නොමැති නම් එම දරුවන් නිවෙස්වල සිටම බලාගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
දරුවන්ට වමනය, තද උණ, බඩඑළිය යෑම, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ ඇත්නම් එම රෝග ලක්ෂණ බරපතළ වීමට පෙර වහාම රෝහලකට රැගෙන ඒමට පියවර ගන්නා ලෙසද වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.