2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

බඩු මිල නැග්ගූවාට උද්ඝෝෂණ මාලාවක්

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 89

I චමිඳු නිසල් ද සිල්වා

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන්හි මිල ගණන් අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව ඔක්තෝබර් මස 21 වැනිදායින් පසු දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා දේශයට පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මෙන්ම දෛනිකව මහජනතාව භාවිත කරන පාරිභෝගික භාණ්ඩවලද මිල ගණන් ව්‍යාපාරිකයන් විසින් අසීමිත ලෙස ඉහළ දමා ඇතැයි රංජිත් විතානගේ මහතා කීය. පාලන මිල ඉවත් කිරීම සහ වෙළෙඳපොළ පවතින අවිධිමත් මිල ගණන් පිළිබඳ මේ වන විටත් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ රජයේ වගකිව යුතු බලධාරීන් දැනුවත් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. 

පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මාධ්‍යයෙන් සහ විවිධ ලිපි ලේඛන හරහා කොතරම් දැනුම්වත් කළද රජය ඊට ඇහුම්කන් නොදෙන බවත් එම නිසා පළමු අදියරේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සීමිත පිරිසක් සම්බන්ධ කර ගනිමින් දිවයින පුරා උද්ඝෝෂණ සංවිධානය කෙරෙන බවත් විසඳුම් නොලැබුණහොත් මේ මස අවසානයේදී තවත් සංවිධාන සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කොටගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරම්භ කරන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් දේශයට කීය.