2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

පිල්ලි ගිය රන් තැටියේ පැටිකිරිය හොයයි

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 49

I ගයාන් ගාල්ලගේ

කතරගම දේවාලයෙන් අතුරුදන්ව නැවත එම දේවාලයට ලැබුණු රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා පවුම් 38ක් බරැති රන්තැටිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ස්වර්ණාභරණ අධිකාරියටත් රජයේ රස පරීක්ෂකවරයාටත් එම තැටිය බාරදෙන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.

නැවත ලබාදුන් රන් තැටියේ නියමිත රත්තරන් ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජාතික ස්වර්ණාභරණ අධිකාරියටත්, අතුරුදන්ව නැවත ලැබුණු රන්තැටිය දේවාලයට පූජාකළ රන්තැටියමද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙතටත් ඉදිරිපත් කිරීමටත් නියමිතව ඇත.

දේවාලයට ලැබෙන මෙම භාණ්ඩ දේවාලයේ භාණ්ඩාගාරයේ තිබිය යුතු වුවත් 2019 ජූලි 03 දා මෙම තැටිය පරිත්‍යාග කළ දිනයේ සිට නැවත එය භාණ්ඩාගාරයට ලැබෙන 2021 ඔක්තෝබර් 26 වනදා තෙක් මෙම තැටිය දේවාල කාර්යාලයේ ලේඛන ගතවී නොතිබුණු බවත් පොලීසිය පවසයි. දේවාලයේ තේවා කටයුතු සඳහා කපු මහතුන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්ව සිටිති. කුසපත් ඇදීම මගින් ඒ ඒ මාසවල තේවාව භාරවන කපුවරැන් තෝරා ගැනීම පවත්නා සම්ප්‍රදායයි. මේ තැටිය ලැබුණු මාසයේ එම තේවා කටයුතු භාරව ක්‍රියාකර ඇත්තේ ප්‍රධාන කපුමහතා බවත් එසේම අදාළ රන්තැටිය නැවත දේවාලයේ භාණ්ඩාගාරයට ලබාදෙන ලෙසට ගෝලයකු ලවා එවා ඇත්තේද ප්‍රධාන කපුමහතා බවත් මේ වනවිට පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. කෙසේ වෙතත් සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තමන් රන්තැටිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් එය තමන්ගේ නිවසේ තිබූ බවට සිදුකරන ප්‍රචාර අසත්‍ය බවත්ය. එම ප්‍රකාශය මෙම සොරකමට සම්බන්ධ අයගේම අමන ප්‍රකාශයක් බව සඳහන් කරසිටින ප්‍රධාන කපුමහතා වැඩිදුරටත් කියාසිටියේ තමන් මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයටත්, රහස් පොලිසියටත් පැමිණිලි කරන බවය.