2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

16 වැනිදා සජබ ගොවීන් සමඟ කොළඹට

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 18

16 වැනිදා සජබ ගොවීන් සමඟ කොළඹට

I සංජීවිකා සමරතුංග

මේ කන්නයේ රසායනික පොහොර ලබා නොදීම නිසා පීඩාවට පත්ව සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව ඒකරාශී කොට කොළඹ දී ලබන 16දා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සමගි ජනබලවේගය සැලසුම් කර ඇත. ස.ජ.බ.ට අනුබද්ධ ගොවි පෙරමුණේ ප්‍රධානී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් මෙම ගොවි උද්ඝෝෂණය සංවිධානය කරනු ලබන බව වාර්තා වෙයි.

රිය අනතුරු කොමිසමක්

දිනෙන් දින ඉහළ යන මාරක මාර්ග අනතුරු අවම කිරීම සඳහා ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පිහිටවිය යුතු බව පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම්කාරක සභාව මැතිසබයට වාර්තා කර ඇත. දැනට මාර්ග අනතුරු වැළැක්වීම සඳහා පොලීසියට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ නවීන දැනුම ලබාදීම පිණිස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ස්ථාවර කොමිෂන් සභාවක් බවට පත්කොට අනතුරු වැළැක්වීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය ගිණුම්කාරක සභාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ළමුන් 200ට අඩු පාසල් 50%ක්

ශ්‍රී ලංකාවේ ඇති පාසල් 10300කින් පාසල් 5161ක්ම සිටින්නේ ළමුන් 200කට වඩා අඩුවෙන් බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් කරන ලද ගණන් බැලීමකදී හෙළිදරව් විය. මෙම සංඛ්‍යාවෙනුත් ළමුන් 50ට වඩා අඩු පාසල් සංඛ්‍යාව ඉතා විශාල බව දැක්වෙයි. එම සමීක්ෂණ වාර්තාවේ තොරතුරු අනුව පළමු වසරට එක ළමයෙක් හෝ ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් නොවන පාසල් ගණන විශාල බවද වාර්තා වෙයි.