2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

සති දෙකකදී කොවිඩ් රෝගීන් දහදාහක්

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

I සුගත් පී. කුලතුංගආරච්චි සහ සංජීවිකා සමරතුංග

පසුගිය 09 වැනිදායින් අවසන් වූ සති දෙකක කාලය තුළ පමණක් කොවිඩ් රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 09 දක්වා දින 14 තුළ මෙසේ අලුතෙන් එක්ව ඇති රෝගීන් 9,452ත් සමඟ එදින වන විට රටේ සමස්ත රෝගීන් ගණන 546,653ක් දක්වා ඉහළ ගොසිනි.

මේ අතර පසුගිය 05 වැනිදායින් ඇරඹුණු සති අන්තය තුළදී දිනකට 700 ඉක්මවා රෝගීන් වාර්තා වීම ඇරැඹී තිබේ. මේ අනුව කොවිඩ් රෝගය නැවත හිස ඔසවා ඒමේ භයානක ප්‍රවණතාවයක ලකුණු පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අනතුරු අඟවයි. ඉදිරි දිනවලද රෝගීන් ඉහළ යාමේ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර මේ නිසාම වෙනදාට වඩා නැවතත් පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය හා අනවශ්‍ය ගමන් බිමන් පාලනයකට ලක්කර ගත යුතු බවට ඔහු අවවාද කරයි.

දිනපතා වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සති තුනක් තුළ හාරසීයේ සීමාවේ සිට හත්සීය ඉක්මවා යාම නිසා තවත් කොවිඩ් රුල්ලක අවදානමක් මතුව ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ ද ආණ්ඩුවට වාර්තා කර තිබේ.

අනුරාධපුරය, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්ක තුනේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම පැහැදිලි ලෙස කැපීපෙනෙන බව එම වාර්තාවේ සඳහන් වෙයි. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ඉතා සුළුවෙන් කොවිඩ් රෝගීන් වර්ධනය වී ඇතැයි සඳහන්ය.