සුගත් පී. කුලතුංගආරච්චිl
කොවිඩ් හේතුවෙන් දැන් බරපතළ ගැටලුවක් බවට පත්වෙමින් ඇති අවාසනාවන්ත මානසික රෝගී තත්ත්වයක් ගැන අමෙරිකානු ශල්‍ය වෛද්‍ය ජනරාල් විවේක් එච්. මූර්ති ඉකුත්දා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ඒ සිය දිවි නසා ගැනීමට යොමුවීමේ ප්‍රවණතාවයයි. ආබාධිත, සංක්‍රමණික සහ අඩු ආදායම්ලාභි වර්ණවත් සිසු දරුවන් අතර මේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ඔහුට අනුව කොවිඩ් වසංගතය හේතුකොට කාංසාව -( anxiety) සහ අවපීඩනය - (depression) යන මානසික අසාමාන්‍යතා දැන් දෙගුණ වී තිබේ. එසේම අමෙරිකානු තරුණ තරුණියන් අතර සිය දිවි නසා ගැනීමට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක්ද මතුවෙමින් පවතී. වාර්තා ගත ආකාරයට වැඩිමහලු තරුණියන් අතර මේ ප්‍රවණතාව සියයට 51කින් පමණ මේ වසරේදී ඉහළ ගොස් ඇත. තරුණයන් අතර මේ තත්ත්වය ගිය වසරට වඩා සියයට 4ක ඉහළ යාමකි.
තරැණ පරපුරෙන් සියයට 25ක්ම මානසික අවපීඩනය හා සම්බන්ධ ලක්ෂණත්, සියයට 20ක්ම කාංසාවට අදාළ රෝග ලක්ෂණත් පෙන්නුම් කරන බව තහවුරුව ඇතැයි ඔහු කලාතුරකින් නිකුත් කරන අන්දමේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත. මේ අතර නොරිස්සුම් බව සහ ආවේගශීලි බව වැනි නිශේධනාත්මක හැසිරීම් සහ හැඟීම් තරුණ පිරිස අතර ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. දරුවන්, යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මානසික ව්‍යාකූලතා තත්ත්වයන් පැතිර යාම පිළිගත යුතු සත්‍යයක් වන අතරම වඩාත් වැදගත් කරුණ වන්නේ මේ මානසික අසාමාන්‍යතා තත්ත්වයන් සියල්ලම පාහේ වළක්වාගත හැකි සහ ප්‍රතිකාර කළ හැකි ඒවා වීම බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති අසීරුතාවන් මගින් මතුකර ඇති මේ නව මානසික ව්‍යාධි ප්‍රවණතාව පිළිබඳ දැඩි අවධානය යොමුකිරීම ඉතා හදිසි කාරණාවක් බවට ඔහු අණතුරැ අඟවයි.