2022 ජනවාරි 29 වන සෙනසුරාදා

කැබිනට් රහස් පන්නන්නේ කවුදැයි වහාම සොයන්න - ඇමැති චන්ද්‍රසේන

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 135

I දේශපාලන වාර්තාකරු

පසුගිය සතියේ දේශය පුවත්පතේ පළවූ ප්‍රධාන පුවතට තොරතුරු සැපයූ තැනැත්තා සොයාගැනීමට රාජ්‍ය බුද්ධි අංශය යොදවා පරීක්ෂණයක් කරන ලෙස විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ සතියේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. මෙම තොරතුරු පුවත්පතට සපයා ඇත්තේ කැබිනට් මණ්ඩලයෙන්ම යැයි සැක කරන බවද ඔහු වැඩිදුරටත් එහිදී පවසා තිබේ.

මෙම පුවතට පාදක වූයේ ඔරුවල වානේ සංස්ථාවට අයත් අක්කර 185ක ඉඩම කිසිදු මුදලක් අයනොකර නිදහස් දීමනා පත්‍රයකින් ආයෝජකයකුට පැවරීමට අදාළ කරුණයි. මැති ඇමැතිවරුන් පිරිසකගේ දැඩි විරෝධය නිසා එකී කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගැනීමට එය ඉදිරිපත් කළ අමාත්‍ය චන්ද්‍රසේන මහතාට සිදුවිය.

මෙවර අමාත්‍ය මණ්ඩලයේදීද ඒ ගැන කරුණු දක්වා ඇති අමාත්‍ය චන්ද්‍රසේන මහතා මෙම මාධ්‍ය වාර්තාව නිසා තමන් අපහසුතාවට පත්ව ඇතැයි පවසා තිබේ. වැඩිදුරටත් ඒ ගැන කරුණු දැක්වූ හෙතෙම පවසා ඇත්තේ තමන් මෙකී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ වෙනත් අමාත්‍යාංශයකින් කරන ලද ඉල්ලීමක් අනුව බවය.

මේ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මේ ගැන සෙවීමට රාජ්‍ය බුද්ධි අංශය යෙදවීම අනවශ්‍ය බවයි.