2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ජල බෝතල් පාලන මිල අහෝසියට බන්දුලගෙන් දොස්

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:03 179

I චමිඳු නිසල් ද සිල්වා

සතොස මගින් පානීය ජල බෝතල්වල මිල අඩුකොට පරිසර හිතකාමී නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබියදී පානීය ජල බෝතල් සම්බන්ධව පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම බරපතළ වරදක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

සතොස පානීය ජල බෝතලයක් උපරිම පාලනය මිල වන රු. 35කට අලෙවි කිරීම අරඹා නැවත එම හිස් ප්ලාස්ටික් බෝතල් භාරදීමේදී රු. 10ක් ලබා දී වතුර බෝතලයක නියම මිල රු. 25/-ක් බවට පත්කර තිබියදී මෙලෙස පාලන මිල ඉවත් කිරීම පුදුමයට කරුණක් බවද අමාත්‍යවරයා කීය. එසේම රාජ්‍ය ආයතනය වෙත සතොස පානීය ජල බෝතලයක් රු. 19.75ක මුදලකට අලෙවි කිරීමටද සැලසුම් සකසා තිබූ බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව පාලන මිල ඉවත් කිරීම සමඟ පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම අඩාල වන බව අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය තමා යටතේ නොපවතින අතර තමන් පකිස්ථානු නිල සංචාරය සඳහා රටින් බැහැරව සිටියදී අදාළ තීරණය ගෙන ඇති බවද වෙළෙඳ අමාත්‍යවරයා කියා සිටී. මෙම තීරණය සම්බන්ධ කිසිදු ආකාරයකින් කැබිනට් අමාත්‍යවරයා ලෙස තමාව දැනුවත් නොකළ බවද හෙතෙම සඳහන් කරයි. පාලන මිල ඉවත් කිරීමේ තීරණය කාගේ වුවමනාවට ගනු ලැබූවක්දැයි තමා නොදන්නා නමුත් ඉදිරියේදී මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඉවතලන බෝතලයකට රු. 10ක් ගෙවීමට කටයුතු කළ යුතු බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.