2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ඔමික්‍රොන් පැතිරීම පෞද්ගලික බස් ලෙඩ කරයි

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

I ව්‍යාපාරික වාර්තාකරු

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් (ඔමික්‍රොන්) රෝගය නිසා පෞද්ගලික බස් සේවය බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට පැවසීය.

මේ වනවිට බස් සේවකයන් රැසකට කොවිඩ් වැළඳී ඇති අතර දැනට සේවයේ නියුතු සේවකයන් 30,000කගෙන් තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 10%ක (3,000ක) පමණ පිරිසක් බවද ඔහු සඳහන් කළේය.

පෞද්ගලික බස් සේවාව විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් සේවකයන් 50,000ක්වත් අවශ්‍ය වෙයි. එහෙත් දැන් සේවයේ ඇත්තේ 30,000ක පමණ පිරිසකි. ඔවුන් අතර ද කොවිඩ් රෝගය පැතිරීම හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු දැඩි අවදානමකට පත්ව ඇතැයිද සභාපතිවරයා කීය. 

බස් සේවකයෝ විවිධ තැනැත්තන්ගෙන් ලැබෙන මුදල් නෝට්ටු සහ කාසි පරිහරණය කරති. එම මුදල් දිනපතා නැවත බස් හිමියන් වෙත ලබාදීමද සිදුවෙයි. මේ ආකාරයට මුදල් නෝට්ටු සහ කාසි පරිහරණය පවත්නා අනතුර තවත් වැඩිවීමට හේතුවක් බව පැවසූ විජේරත්න මහතා බස් මගීන්ට ඉක්මනින් ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීම නැවතත් බලධරයන්ට සිහිපත් කරන බවද සඳහන් කළේය.