2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

විනිසුරු විශ්‍රාම වයස අවුලක පැටලෙයි

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 321

අධිකරණ වාර්තාකරු l

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමත් සමඟ රාජ්‍ය සේවයට අයත් නොවන අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව අවුල් සහගත තත්ත්වයක් හටගෙන ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පවත්නා නීතිය අනුව මහාධිකරණ හෝ පහළ උසාවි වන දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60කි. මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61කි. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63කි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65කි.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නිශ්චිතව දක්වා ඇත්තේ අධිකරණ සංවිධාන පනතේය. ඉන් පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ (දිසා/ මහේස්ත්‍රාත්) විශ්‍රාම වයස සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසට සමානය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ප්‍රකාශයට පත්කර තිබේ.

මෙසේ තිබියදී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 65 දක්වා ඉහළ නංවද්දී රාජ්‍ය සේවයට අයත් නොවන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද ඊට අනුරූපව ඉහළ නැංවිය යුතු බව විනිසුරුවරුන්ගේ මතය වී තිබේ. දැනට තිබෙන විශ්‍රාම වයසට අනුරූපව විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස වසර 5කින් වැඩිවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාම වයස වසර 70 දක්වාද අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 68 දක්වාද මහාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 66 දක්වාද පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාද විය යුතු යැයි මේ සම්බන්ධයෙන් දේශයට කරුණු දැක්වූ විනිසුරුවරුන් ගණනාවක්ම කීහ. එහෙත් රජය නිල වශයෙන් ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කොට නොමැති නිසා මේ ගැන බරපතල ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.