2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

තිබෙන බහාලුම් මුදාගන්නාතුරු අලුතින් බඩු නැහැ

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

යසවර්ධන රුද්රිගු l

දැනට වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහාලුම් නිදහස් කරගන්නා තුරු ළඟ එන සිංහල අලුත් අවුරුද්ද සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටවලින් ඇණවුම් කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරැවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න දේශයට පැවසීය.

ආනයනකරැවන්ට මුලින් ප්‍රමුඛත්වය දීමට සිදුව ඇත්තේ දැනට වරායේ සිරවී ඇති බහාලුම් මුදා ගැනීමට බව ඔහු කියයි. එවැනි බහාලුම් 1500 අධික ප්‍රමාණයක් දැනට වරායේ සිරවී තිබේ.

මෙම ගැටලුවට ඉක්මණින් විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වෙළෙඳ ඇමැතිවරයාට පසුගියදා නියම කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඔහු වැඩිදුරටත් පවසන්නේ එම කමිටුව සඳහා තමා ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනකුද පත්ව සිටින බවය.

මේ වනවිට කඩිනමින් නිදහස් කළ යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ලේඛනයක් මෙම කමිටුව විසින් සකස් කර වෙළෙඳ අමාත්‍යංශයට යවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳ වෙළෙඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ගිල්මා දසනායක මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ එවැනි ලේඛනයක් ලැබී ඇති අතර, එහි අඩුපාඩු සකස් කර ගැනීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවය. ඒ සඳහා වැඩි කාලයක් ගත නොවන බවද ඇය පැවසුවාය.