2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

අධිභාර ආදායමෙන් බිලියන 80ක් කැපෙයි

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

සංජීවිකා සමරතුංග l

සමාගම් විසින් ලබන ලාභය මත අයකිරීමට යෝජිත වූ 25%ක අධිභාර යෝජනාවෙන් සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්.) සහ තවත් විශ්‍රාම අරමුදල් දොළහක් ඉවත් කිරීමත් සමඟ රජයට ලැබීමට නියමිතව තිබූ රුපියල් බිලියන අසූවක (කෝටි 8000ක) බදු ආදායමක් අහිමිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

මෙම අරමුදල්ද ඇතුළුව තවත් ව්‍යාපාර සමාගම් 69කින් අදාළ බදු අධිභාරය එක් වරක් පමණක් අයකිරීමට රජය යෝජනා කළේ රුපියල් බිලියන 185ක (කෝටි 18,5000) ආදායමක් අපේක්ෂාවෙනි. එහෙත් සමාජයෙන් එල්ල වූ විරෝධය නිසා යට කී ආයතනවලින් බදු අයකිරීම අත්හිටුවනු ලැබීය. එම නිසා රජයට අදාළ බද්දෙන් ලැබෙනුයේ රුපියල් බිලියන 105ක් (කෝටි 10,500) පමණක් බව සඳහන් වේ. 

මේ යෝජනාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ අවස්ථාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ මෙකී විශ්‍රාම අරමුදල් සමාගම් පනත යටතට ඇතුළත් කිරීම සිදු කළේ තමන් නොව පැවති යහපාලන රජය වසර 2017 දී බවය.