I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ආන්දෝලනාත්මක යුක්‍රේන අර්බුදය හේතුවෙන් මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාවට එල්ල කර ඇති චෝදනා පිළිබඳව දැඩි අවධානයක් යොමු නොවනු ඇතැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා දේශයට පැවසීය.
ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එහි මීළඟ සැසියේදී එය යළිත් කරළියට එනු ඇති බවද ඔහු සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මෙවර සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනටමත් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එහි සඳහන් ප්‍රධාන කරුණු අතර මෙරට තුළ හමුදාකරණය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය වෙනස් වී තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි සඳහන් කර ඇත.
ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වගවීම පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයක ඇති භයානක තත්ත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශය නිවැරදි බවත්, එහෙත් එය හුදු ප්‍රකාශයකට පමණක් සීමා නොකොට ජාත්‍යන්තර දායකත්වයක් නොමැති දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවත් ආචාර්ය දයාන් ජයතිලක සඳහන් කළේය.
මෙවන් යාන්ත්‍රණයක් සඳහා පූර්ව මගපෙන්වීම් ගණනාවක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. උගත් පාඩම් කොමිසම, උදලාගම කොමිසම සහ පරණගම කොමිසම මගින්ද පවතින චෝදනා පිළිබඳව විමර්ශනයට දේශීය යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දී තිබිණි. එබැවින් ජිනීවා අර්බුදයෙන් මිදීමට නම් එබඳු යාන්ත්‍රණයක් ස්ථාපනය කොට විකල්පයක් ඉදිරිපත් කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.