I සංජීවිකා සමරතුංග
අමෙරිකානු ඩොලර් ලක්ෂයක බැංකු ගිණුමක් වසර 10ක කාලයක් මෙරට බැංකුවක පවත්වාගෙන යන විදේශිකයන්ට එම කාලයට ශ්‍රී ලංකාවේ නේවාසික වීසා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම තැනැත්තාගේ බැංකු ගිණුමෙහි ඩොලර් 50,000ක ශේෂයක් පවත්වාගෙන යන තෙක් මෙම වීසා පහසුකම හිමිවෙයි.
විදේශ වත්කම් ප්‍රවර්ධනය සඳහා වන මෙම යෝජනාව ගෝල්ඩන් පැරඩයිස් යනුවෙන් නම් කර තිබේ. මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා විසින් එය රජයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් ධම්මික පෙරේරා මහතා මෙලෙස නේවාසික වීසා 50,000ක් ලබා දී එමගින් මෙරටට ඩොලර් බිලියන 5ක වත්කමක් උපයා ගැනීමට හැකි බැවින් තමන් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කළ බව කීය.
වීසා ප්‍රවර්ධන වැඩසටහන සඳහා ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ යුතුය. ඒ අනුව පළමු වීසා දස දහස විදේශිකයන් විසින් ලබාගන්නා තෙක් අදාළ ජාත්‍යන්තර ප්‍රචාරක වැඩසටහන වෙනුවෙන් දැරිය යුතු සියලු වැය බර තමන් සභාපතිත්වය දරන හේලිස් සමාගම් සමූහය සහ වැලිබල් සමූහ ව්‍යාපාරය මගින් දරන බවද ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
දේශීය ව්‍යාපාරිකයකු ලෙස රට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ජාතික මෙහෙවරක් ලෙස සලකා තමන් මෙම කටයුත්තට උරදුන් බවද හෙතෙම සඳහන් කළේය.