2022 මාර්තු 27 වන ඉරිදා

ඇපල් ගෙඩිය රු. 150යි!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 126

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ යාම හා පළතුරු සඳහා රජය මගින් පනවන ලද නව බදු හේතුවෙන් පසුගිය කාලයේ රුපියල් 70 – 80 පමණ මිලකට අලෙවි කළ ඇපල් ගෙඩියක තොග මිල මේ වන විට රුපියල් 150ක් පමණ වන අතර සිල්ලර මිල රුපියල් 200ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. 

මේ හේතුවෙන් ඇපල් වෙළඳාම 75%කින් පමණ පහත වැටී ඇතැයි ආනයනකරුවෝ පවසති.

කලින් ඇපල් කිලෝවක් සඳහා පැවති බද්ද රුපියල් 100ක් වූ අතර  නව බද්ද කිලෝවකට රුපියල් 300කි. ඇපල් ගෙඩියක් රුපියල් 70ට අලෙවි වූයේ ඩොලරයේ අගය රුපියල් 203ක්ව පැවතියදීය. මේ වන විට එය 290 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඇපල් තොග මිල 80%කින් පමණ වැඩි වී ඇති අතර නව බද්ද හේතුවෙන් කලින් පැවැති තොග මිල මෙන් දෙගුණයකට අලෙවි කිරීමට සිදුවී ඇතැයි ඔවුහු සඳහන් කරති..

ඩොලර් හිඟය මත ආනයනය කළ පළතුරු කන්ටේනර් දින 15 - 20 වැනි කාලයක් වරායේ රඳවා තබාගැනීමට සිදුවීමෙන් විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමත්, ඇතැම් පළතුරු නරක්වීමට ලක්වීමත් හේතුවෙන් තමන්ට මිලියන 100ක පමණ පාඩුවක් පසුගිය දිනවල සිදුවූ බව පළතුරු ආනයනය කරන සමාගමක් වන ගෝල්ඩන් ෆ්‍රෙෂ් ෆෘට් ආයතනයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.