I සංජීවිකා සමරතුංග
ඉන්දීය රජයෙන් සැපයෙන සහන ණය ක්‍රමය යටතේ අප්‍රේල් මස සිට මසකට ඉන්ධන මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් (1,20,000) මෙරටට සැපයීමට නියමිත බව වාර්තා වෙයි. ඉන්දියාවෙන් සැපයෙන ප්‍රධාන ඉන්ධන වර්ගය වන්නේ ඩීසල් බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ මාසයේ එක් ඉන්ධන නැවක් මෙරටට ඉන්දියාවෙන් ලැබිණි.
කලින් සැලසුම් කර තිබුණේ තෙල් නැව් දෙකක් මගින් මෙරටට ඉන්ධන ප්‍රවාහනය කිරීමටය. නමුත් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි එරට ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් පූරි මහතා විසින් මේ සතියේ සිට තෙල් ප්‍රවාහන නැව් තුනක් ශ්‍රී ලංකාවට තෙල් සැපයුම සඳහා වෙන් කළේය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ඩීසල් නැව් හතරක් සහ එක් පෙට්‍රල් නැවක් අවශ්‍ය වන බව රජය දැනටමත් ගණන් බලා ඇත. ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම සඳහා වන විශේෂ ණය ක්‍රමය යටතේ මෙරටට ඉන්ධන ලබාදීම වෙනුවෙන් මුලින්ම අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ඉන්දීය රජය විසින් අනුමත කරන ලදී. දෙවනුව එය ඩොලර් මිලියන 750 දක්වා ඉහළ නැංවීමට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇතැයි නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරැ ඉන්ධන ණය සහන ක්‍රමය පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා පවත්වන කණ්ඩායම නියෝජනය කරති.