2022 අප්‍රේල් 03 වන ඉරිදා

අද විරෝධයට ඉඩ: ප්‍රචණ්ඩකාරීන්ට දැඩි පියවර!

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 460

ගයාන් ගාල්ලගේ l

දිවයිනේ නගර පුරා අද (03) පැවැත්වෙන මහජන උද්ඝෝෂණය සඳහා උපරිම ආරක්ෂාව යෙදවීමටත් යම් කඩාකප්පල් ක්‍රියාවක් සිදුවුවහොත් එය ආරම්භයේදීම උපරිම බලය යොදා මර්දනය කරන ලෙසටත් රජය විසින් පොලීසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ වෙත පසුගිය සිකුරාදා (01) දිනයේ උපදෙස් ලබාදී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා (31) රාත්‍රියේ නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත මාවතේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරියේ සිදුකළ උද්ඝෝෂණයේදී ඇති වු කලහකාරී සිදුවීමත් සමඟ මෙම උපදෙස් ආරක්ෂක අංශ වෙත ලබාදී ඇත. එසේම මින් ඉදිරියට පැවැත්වෙන ආණ්ඩුවේ මැති ඇමතිවරු එක්වන උත්සව සඳහාද උපරිම ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ.

මිරිහාන ප්‍රදේශයේ සිදුවූ උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ සහ ජනතාව අතර ඇතිවූ ගැටුමේදී පුද්ගලයන් 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබුණු අතර මාධ්‍යවේදීන්ද ඒ අතර සිටිබව වාර්තාවේ. එසේම අත් අඩංගුවට ගත් 54 දෙනා අතරද මාධ්‍යවේදීන් සිට ඇති අතර ඔවුන්ට ඊට පසුදින පොලිස් ඇප මත නිදහස් කෙරිණි. ඔවුන් සඳහා විවිධ සංවිධාන වලින් මෙන්ම සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ මඬුලු පැමිණි බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වෙන මහජන උද්ඝෝෂණය නිර්ණාමික මහජන උද්ඝෝෂණයක් නිසා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂ සහය ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රාජිත සේනාරත්න යන අය සිය ෆේස් බුක් ගිණුමේ වීඩියෝ ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ සියලුම පුරවැසියන්ට ඊට ආරාධනා කරන බව කියාය.
කෙසේ වෙතත් මේ වනවිට සියලුම උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන සඳහා පූර්ණ ආරක්ෂාව යෙදවීමට රජය තීන්දු කර තිබේ.