2022 අප්‍රේල් 10 වන ඉරිදා

අලුත් ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ රහස් සාකච්ඡා

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 738

ගයාන් ගාල්ලගේ l

වර්තමාන ආණ්ඩුව ඉවත්කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් සහ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරු කණ්ඩායමක් අතර ඉතාම රහසිගත සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී පවත්වා ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂ ස්වාධීන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකුත් සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රී කණ්ඩායමකුත් සහභාගි වී තිබේ. මෙහිදී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර දැනුම් දෙන බව සමගි ජනබලවේගයේ නියෝජිත පිරිස දන්වා ඇත.

ඒ අනුව සමගි ජනබලවේගයේ කණ්ඩායම පසුගිය සිකුරාදා උදෑසන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ ඉක්මනින් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමටය. ඒ අනුව සිකුරාදා දිනයේ විස්වාසභංගය සඳහා අත්සන් ගැනීම ඇරැඹීය.

ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායම දන්වා ඇත්තේ විශ්වාසභංගය සඳහා අවශ්‍ය ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරැන්ගේද සහාය ලබාගන්නා බවය.