2022 අප්‍රේල් 24 වන ඉරිදා

නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගන්න: - කතෝලික පූජකවරු කියති

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:02 294

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

පාස්කු ප්‍රහාරයට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පියතුමන් පිරිසක් පසුගිය 20දා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ප්‍රකාශ කළේ මෙම පැමිණිල්ල පසුගිය කාලයේ පැවැති නඩු විභාගවල සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළ බවටය. විශේෂයෙන්ම ෂානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ දිවුරැම් පෙත්සම හා විශ්‍රාමික බ්‍රිගේඩියර් චූලා රත්නසිරි කොඩිතුවක්කු මහතා පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලබාදුන් තොරතුරු මත එය පදනම් වූ බැව් පියතුමා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට වසර තුනක් ගත වුවද පසුගිය කාලය පුරාම යුක්තිය ඉටුකරනු වෙනුවට යුක්තිය සොයා යන පිරිස හඹාගෙන යාමක් දක්නට ලැබුණු බවද කතෝලික සභාව  සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් අපේක්ෂා කරන යුක්තිය ඉටුකරගත හැක්කේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කිරීම මගින් යැයි තමන් විශ්වාස කරන අතර  ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද එතුමන් ප්‍රකාශ කළේය. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තබා ලද තොරතුරැවලට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වගකිව යුතු බවට 2022 අප්‍රේල් 19 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතාද අනාවරණ කළේය. ඔහු සඳහන් කළේ නිලන්ත ජයවර්ධන මහතා තම රුකියාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අත්‍යවශ්‍ය බුද්ධි තොරතුරක් නොසලකා හැර තිබූ බවයි.