2022 මැයි 22 වන ඉරිදා

කැබිනට් පට්ටම්වලට ලොකු සටනක්!

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 303

සංජීවිකා සමරතුංග I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන හිටපු අමාත්‍යවරුන් 43 දෙනකු පමණ අමාත්‍ය ධූර අපේක්ෂා කරන නිසා කැබිනට් මණ්ඩලයේ ඉතිරි පත්කිරීම් පමාවන බව දේශයට වාර්තා වෙයි. 43 දෙනකු අමාත්‍ය පදවි බලාපොරොත්තු වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙන්කර ඇති කැබිනට් අමාත්‍ය ධූර දහයෙන් තවදුරටත් පුරප්පාඩුව ඇත්තේ තනතුරු 5 කි.

මෙයට පෙර එම පක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කෙරිණි.

පවත්නා ගැටලු සහගත තත්ත්වය යටතේ කැබිනට්ටුවේ අමාත්‍ය පදවි ගණන 25ක් (ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව) පමණ විය හැකි බව දැනගන්නට ඇත. කැබිනට් විෂයන් බෙදීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍ය පදවිය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩනැගීම සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය පදවිය හෝ මුදල් අමාත්‍ය පදවියට පත්කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ හෝ ලබන 23 සඳුදා ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි. එදින පත්වන අමාත්‍යවරුන් අතර මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, නසීර් අහමඩ්, බන්දුල ගුණවර්ධන, ජීවන් තොණ්ඩමන් සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරැ ද වන බව වාර්තා වෙයි. අමාත්‍ය පදවියක් සඳහා ආරාධනා කර ඇති අලි සබ්‍රි මහතා මෙම සටහන ලියන මොහොත වන විටත් ඒ ගැන සාකච්ඡා කරමින් සිටි නමුත් පදවියක් භාරගැනීමට කැමැත්ත පළ කර නැත.

කැබිනට්ටුවට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 20 දෙනකු ද පත් කෙරෙති. ඒ සඳහා සමගි ජන බලවේගයෙන් ද කිහිප දෙනකු පැමිණීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.