I කටුනායක ටී.කේ.ජී. කපිල
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා සඳහා ඉන්ධන ඇත්තේ තවත් සතියක කාලයක් සඳහා පමණක් බවත්, ඒ අනුව එළඹෙන ජූනි මස 02 දින සිට මෙම ඉන්ධන තොග අවසන් වන බවත් ගුවන් තොටුපොළ උසස් නිලධාරියෙක් දේශයට පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ තුළ මේ ආකාරයට ගුවන් යානා සඳහා ඉන්ධන නොමැතිවීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අනෙකුත් විදේශීය ගුවන් යානාද, ඉන්දියාවේ චෙන්නායි, නවදිල්ලි, හයිද්‍රාබාද්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සිංගප්පූරුවේ චැංගි යන ගුවන් තොටුපොළවලින් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට මේ වනවිට පියවර ගෙන තිබේ.
මෙම ඉන්ධන හිඟය එළඹෙන ජූනි මස 02 දින සිට ජූනි මස 07 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපොළෙහි පැවතිය හැකි බවට මේ වනවිට ප්‍රකාශ කර තිබේ. ගුවන් යානා ටර්බයින් ඉන්ධන නිසි කලට ඇණවුම් නොකිරීමත්, ඇණවුම් කළ ඉන්ධන තොග අපේක්ෂිත කාලය තුළ නොලැබීමත් ගුවන් තොටුපොළ තුළ මෙම ඉන්ධන හිඟයට ප්‍රධාන සහ ආසන්නතම හේතූන් වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉන්දීය ණය ආධාර (Indian Credit Line) යෝජනා ක්‍රමය මත අවසන් වශයෙන් ඉන්දියාවේ සිට ඉකුත් අප්‍රේල් මස 23 දින කොළඹට ඉන්ධන තොගයක් ලැබී තිබූ බවත්, ඉන්පසුව මෙතෙක් එවැනි ඉන්ධන තොග කොළඹට ළඟා වී නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයෙක් පැවසීය.