සංජීවිකා සමරතුංග I
තවත් මාස තුනකින් මෙරට උග්‍ර සහල් අර්බුදයක් හටගන්නා බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා දේශයට පැවසීය. එම සහල් හිඟය දැඩිව බලපාන්නේ බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වලටය.
මෙයට ප්‍රධාන හේතුව වී වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ සෙසු රසායනික ද්‍රව්‍ය නොලැබීම නිසා බොහෝ පළාත්වල වී වගාව අඩාල වීමය. සාමාන්‍යයෙන් මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූදහසක් පමණය. එහෙත් පවත්නා තත්ත්වය යටතේ රජය සතු වී ගබඩාවල ඇත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයකටත් අඩු ප්‍රමාණයකි. ගොවීන් සිය පරිභෝජනය සඳහා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණ රඳවාගෙන ඇත. මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව තවත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් පමණ පවතී.
එම නිසා රටේ ජනගහණයට සාපේක්ෂව මෙම වී තොගයෙන් නිෂ්පාදනය කළ හැකි සහල් තොගය ප්‍රමාණවත් වන්නේ ලබන අගෝස්තු මාසය දක්වා පමණි. මෙම යල කන්නයේ වගාවන් අඩාල වී ඇති නිසා එම නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ (අගෝස්තු මාසයෙන් පසු) රටේ මුළු ජනගහණයෙන් 20% කට පමණි. ඒ සමඟ ඉතිරි 80% කට ප්‍රමාණවත් සහල් ලබාගැනීම බරපතළ ගැටලුවක් වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.