2022 ජුනි 12 වන ඉරිදා

සහල් හිඟයක් මවා මිල නග්ගයි!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:03 98

I යසවර්ධන රුද්රිගූ

ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් උත්සාහ ගනිමින් සිටින බව දේශයට වාර්තා වේ. 

මේ වනවිට මහා පරිමාණ මෝල් හිමියන් අලෙවියට සහල් නිකුත් කිරීම 40% කින් පමණ අඩුකර ඇති අතර පසුගිය සතිය පුරා වෙනදා සහල් ප්‍රවාහනය කළ ලොරි රථ නොපැමිණි බව ප්‍රධාන නගර සහ උප නගරවල වෙළෙන්ඳෝ පවසති. තමන් දැනට අලෙවි කරන්නේ තමන් අත ඇති තොගවලින් ඉතිරි වූ ඒවා වන අතර, එම තොග අවසන් වූ පසු අලෙවි කිරීමට තොග නොමැති බව ඔවුහු කියති.

දැනටමත් දේශීය සහල් වර්ගවල මිල කිලෝව රු. 250 – 260 දක්වා ඉහළ නැග තිබෙන අතර, මේ මාසය අවසන් වනවිට සහල් කිලෝව රු. 300 දක්වා වැඩිවනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

සහල් මිල ඉහළ යාම පිළිබඳ කළ විමසීමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පැවසුවේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සිදු කරන අතර පසුගිය සතියේ එවැනි වැටලීම් 12ක් සිදුකර ඉන් 4කට නඩු පවරා ඇති බවය. සහල් උපරිම මිල ඉවත් කර ඇති බවට පවතින ආරංචි ව්‍යාජ බව පවසන සභාපතිවරයා දැනට නාඩු සහල් කිලෝව 220, සම්බා කිලෝව 250 සහ කීරි සම්බා රැපියල් 260 ලෙස පනවා ඇති උපරිම සිල්ලර මිල කිසිවිටෙකත් ඉවත් කර නොමැති බවද අවධාරණය කළේය.