2022 ජුනි 12 වන ඉරිදා

මුදල් තීන්දු අපි ගත්තේ කැබිනට් අනුමැතියෙන් - හිටපු මූල්‍ය ප්‍රධානීහු කියති

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 67

දේශපාලන වාර්තාකරු I

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු යම් යම් බදු අඩු කිරීම් මහ වැඩි කිරීම් සියල්ල සිදු කළේ රජයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව බව හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු විමසා බැලීම සඳහා රාජ්‍ය මුදල් කාරක සභාව මෙම කරුණු විමසුම සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු මුදල් ලේකම් හා මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ පැවති ආණ්ඩුව මෙම තීරණ ගනු ලැබුවේ ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යැයි ද වැඩිදුරටත් කීහ.

එකල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත රජය ණය වැඩසටහන් සඳහා සම්බන්ධ නොවූයේ ඊට විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කළ නිසා බව මෙහිදී හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කර තිබිණි. ආචාර්ය ජයසුන්දර මහතා ද වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එදා රජය ගත් සියලු තීරණ පාර්ලිමේන්තුවටත් අදාළ කාරක සභාවලටත් යොමුකර අනුමැතිය ගත් වගය. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ මෙම විමසුම සඳහා වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද එක්වූ අතර ඔහු පැවසුවේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන කිරීම උචිත නොවන බවය.

මෙම කරැණු විමසීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සහභාගි වූ අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අර්ජුන මහේන්ද්‍රන් හා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඊට පැමිණ සිටියේ නැත.