2022 ජුනි 19 වන ඉරිදා

කිකිළියොත් ’’වර්ජනයක’’

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:02 329

I සසංක චලන ගිම්හාන

කුකුළු කෑම මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමෙන් රටපුරා ගොවිපොළවල 90% ක් බිත්තර දැමූ කිකිළියන්ගේ ප්‍රතිශතය මේ වනවිට 50% ක් දක්වා පහත වැටී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා දේශයට පැවසීය.

රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් කුකුළු ආහාර ආනයනය සීමා වී ඇත. එයින් විටමින් වර්ග ඇතුළු අමුද්‍රව්‍ය 10කට ආසන්න ප්‍රමාණයක මිල ඉහළ නැග තිබේ. එම නිසා මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 48 – 50 අතර වන බව රත්නායක මහතා පැවසීය. බිත්තර දමන කිකිළියන්ට දිනපතා ආහාර ලබාදිය යුතු වුවද පවතින අර්බුදය හමුවේ ආහාර නොමැතිවීමෙන් රටපුරා ගොවිපොළවල කිකිළියන් බිත්තර දමන ප්‍රතිශතය මෙලෙස අඩු වී ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.

මේ වනවිට බිත්තර ඉතා වටිනා පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වී ඇති බවත් කුකුළු ආහාර නොමැතිවීමෙන් මෙම අර්බුදය තවදුරටත් පැවතුණහොත් කිකිළියන් සියලු දෙනා මසට විකිණීමට සිදුවන බැවින් එය මහා ඛේදවාචකයක් බවත් සභාපතිවරයා කීය.

එසේ වුවහොත් බිත්තර හිඟයට විසඳුමක් නොලැබෙතත් වර්තමානයේ පවතින කුකුළු මස් හිඟයට විසඳුමක් ලැබෙන බවත් කුකුළු මස් මිල ඉදිරියේදී අඩුවීමට ඉඩ ඇති වගත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.