2022 ජුනි 19 වන ඉරිදා

මැයි 9දා නීතිය නැවූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 46

I ආරක්ෂක වාර්තාකරු

පසුගිය මැයි මස 09දා කොළඹ සහ පිට පළාත්වල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනයට පියවර නොගත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගාලුමුවදොරදී මෙන්ම විවිධ ප්‍රදේශවල මැති ඇමැතින්ගේ නිවාස හා දේපළ හානි සිදුකරද්දී ඒවා සියැසින් දැක දැකත් ඇතැම් පොලිස් නිලධාරීන් නිහඬව සිටි බවට පාර්ශ්ව ගණනාවක් ශ්‍රී ලංකා පොලීසියට චෝදනා එල්ල කර තිබේ.

මැයි මස 09දා රටපුරා මෙබඳු සිදුවීම් 856ක් පමණ සිදුව ඇත. ඒවා මර්දනයට නීතිමය අවසරය ලබා දී තිබියදීත් තත්ත්වය පාලනය නොකළ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් සොයා ඔවුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගැනීම මෙම විමර්ශනයේ අරමුණ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඒ අතර මින් ඉදිරියට පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා දේශපාලන නිර්දේශ මත යම් යම් තැනැත්තන් තෝරා නොගෙන කුසලතාව ප්‍රවීණතාව හා ජ්‍යෙෂ්ඨතාව මත පමණක් සුදුස්සන් පත් කිරීමටද පොලිස් මූලස්ථානය අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.