2022 ජුනි 19 වන ඉරිදා

දිසා 8ක් ඩෙංගු අධි අවදානමක

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 47

I දේශපාලන වාර්තාකරු

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය නිවේදනය කරයි. එම අධි අවදානම් දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කයි.

මෙම දිස්ත්‍රික්ක අටෙහි ඩෙංගු ප්‍රබල ලෙස පැතිරෙන අධි අවදානම් කලාප 82ක් ඩෙංගු මර්දන ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය සති දෙකේ මෙම කලාපවලින් 39ක අඛණ්ඩව රෝගීන් ඉහළ යාමක් වාර්තා විය.

2022 වසරේ මේ දක්වා රටපුරා ඩෙංගු රෝගීන් 26,622ක් වාර්තා වී ඇත. එයින් රෝගීන් 51%ක්ම හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි. කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය 6.1% කි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මධ්‍යයේ හටගෙන ඇති ඩෙංගු අධි අවදානම ගැන බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවාවද (BBC) පසුගියදා විශේෂ වාර්තාවක් පළ කර තිබිණි.