දේශපාලන වාර්තාකරු I
නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සම්බන්ධව හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීමට වඩාත් යෝග්‍ය ක්‍රමය සියලු පක්ෂවල එකඟතාවෙන් කතානායකවරයා ජනාධිපති ධූරයට පත්කර ගැනීම බව මෙරට ප්‍රවීණතම සිවිල් සේවා නිලධරයකු මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච්.ජේ. විජයදාස මහතා දේශයට කීය.
කේ.එච්.ජේ. විජයදාස මහතා ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන හිටපු ජනාධිපතිවරුන්ගේ ලේකම් ධූරය දැරීය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ දා සිට නව ජනාධිපති ලෙස මැතිසබයෙන් ඩී.බී. විජේතුංග මහතා තෝරා පත්කර ගන්නා තෙක් ජනාධිපති කාර්යාලයේ නිල කටයුතු මෙහෙයවූ මෙහෙයුම් ප්‍රධානියා ද විය.
කතානායකවරයා ජනාධිපති ධූරයට පත්කර ගතහොත් ඉන් අනතුරුව සියලු පක්ෂ නියෝජනය වන ලෙස දක්ෂයන් 15 දෙනකුගෙන් සමන්විත කුඩා කැබිනට්ටුවක් පත් කරගත හැකිය. එසේම නව අග්‍රාමාත්‍යවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ නිල නොවන රහස් ඡන්දයක් පැවැත්විය යුතුය.
එම ඡන්දය කතානායක එකඟතාව මත පාර්ලිමේන්තු සභාවේ හෝ කමිටු ශාලාවක පැවැත්විය හැකිය. එහිදී මන්ත්‍රීන්ගේ වැඩිම විශ්වාසය දිනාගන්නා තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු බවද විජයදාස මහතා සඳහන් කළේය.