2022 අගෝස්තු 21 වන ඉරිදා

නිළධාරීන්ගේ සන්තෝසමට කෙළ හලන ලොක්කෙක්

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:02 266

I දේශපාලන වාර්තාකරු

මෑතකදී රජයේ මුල් පෙළේ දෙපාර්තමේන්තුවක ප්‍රධාන තනතුරට පත්වූ එක්තරා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයකු එම දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදන අංශ කිහිපයක ප්‍රධානීන්ගෙන් මාසිකව ඔවුන්ට ලැබෙන 'සන්තෝසම්' මුදල් සම්බන්ධයෙන් විමසා කිසියම් බලපෑමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ප්‍රකට ශාකයක නමදරන හැඳින්වෙන අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා නව තනතුරට පත්ව සතියක් ගතවීමෙන් පසුව එහි ගනුදෙනුවලට සම්බන්ධ ප්‍රධානීන් ගණනාවක් තමන් හමුවට කැඳවා තිබේ. එහිදී ඔහු විමසා ඇත්තේ දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සිදුවන නීතිවිරෝධී කටයුතු ගැන තමන් හොඳින් දන්නා බවත් ඒවාට ලැබෙන 'සන්තෝසම්' මුදල් බෙදී යන්නේ කෙසේද කියාත්ය. අනතුරැව ඒවා සාධාරණව බෙදී යා යුතු බවද පවසා ඇතැයි සඳහන්ය. එමගින් ඔහු අදහස් කර ඇත්තේ තමන්ටද එයින් කොටසක් ලැබිය යුතුය යන්න බවද එම අවස්ථාවට සහභාගි වූ නිලධාරීහු පවසති.

දිනපතා සිය ගණන් ජනතාව පෝලිම් ගැසී සිටිමින් මෙහි සේවා ලබාගනිති. දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂම කිරීම සඳහා එක්තරා අමාත්‍යවරයෙක් පසුගිය කාලයේ විශාල පරිශ්‍රමයක් දැරීය. එම ඇමැතිවරයා ඉවත්ව යාමෙන් පසු මෑතකදී පත්වීම් ලද මෙම ප්‍රධානියාගේ 'සන්තෝසම්' කතාව පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටා ඇති අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.