I දේශපාලන වාර්තාකරු
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා සභාවේ) සභාපති ධුරයට පොහොට්ටුව නියෝජනය කරන ආචාර්ය සුරේන් රාඝවන් මහතා නම්කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මෙයට පෙර කෝප් සභාව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුරයට මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා නම්කිරීමට ද පොහොට්ටුව තීන්දු කර තිබිණි.
කෙසේ වෙතත් රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය දැනටමත් විපක්ෂය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ලබා දී ඇත.
පසුගියදා මෙම කාරක සභාවල සභාපතිවරුන් පත්කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී අදාළ සභාපති ධුර විපක්ෂයට ලැබිය යුතු බවට විපක්ෂය රජයෙන් දැඩි ලෙස ඉල්ලීමක් කර තිබිණි. එහෙත් එහිදී අදහස් දැක්වූ පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුවල සභාපතිවරුන් තෝරාගන්නේ එම සභාවලට පත්වන බහුතර මන්ත්‍රීන්ගේ බහුතර ඡන්දයෙන් වන නිසා ඊට ඉඩ දිය යුතු බවය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පැවති කෝප් සහ කෝපා සභාවල නිල කාලය හමාර විය. එවිට එම සභාවල සභාපති ධුර දැරුවේ මහාචාර්ය තිස්ස විතාරණ (කෝපා සභාව) සහ මහාචාර්ය චරිත හේරත් (කෝප් සභාව) යන මහත්වරුන්ය.