2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

විසිදෙක අවධානමේ!

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 212

I දේශපාලන වාර්තාකරු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ බරපතළ කඹ ඇදිල්ලක් හටගෙන තිබේ. ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි 2 සහ 3 වැනි වගන්ති හා ඊට අදාළ උප වගන්ති සම්මත කර ගැනීමට නම් මැතිසබයේ විශේෂ බහුතරයකින් (2/3ක ඡන්දයෙන්) සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කර ඇත.

ඒ අතර යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානම වගන්ති දෙකකට විරුද්ධ වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම හවුල්කරුවා වන පොහොට්ටුව පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන තිබේ. ඒ සමඟ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇත. පොහොට්ටුව විරෝධය දක්වන ප්‍රධාන වගන්තිය වන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියයි. මෙම වගන්තිය එක් පුද්ගලයකු ඉලක්ක කරගෙන සම්පාදනය කර ඇති නිසා ඊට විරුද්ධ වීමට තීන්දු කළ බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. පොහොට්ටුව විරෝධය පළ කරන දෙවැනි වගන්තිය වන්නේ අලුතින් මැතිසබය පත්වූ පසු වසර 2 ½ක් ඇවෑමෙන් පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය වසර 4 ½ක් දක්වා දිගු කරන ලෙස කරන ලද ඉල්ලීම ඉටු නොවීමයි. මේ සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ඉදිරි දින කිහිපය තුළ නිල වශයෙන් ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය නිසා 22 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සම්මත කර ගැනීම ගැටලු සහගත තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.