2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

රජ කිරුළ පුතුට දී මහ රැජින සමුගනී

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:01 128

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l

වසර 70 මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා තෙවැනි චාල්ස් නමින් මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජු බවට පත් විය. නව රජු බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 54න් 14ක සම්ප්‍රදායික නිල රාජ්‍ය නායකයා ද වනු ඇත.

අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජින රාජ්‍යත්වයට පත්වූ 1952 සිට ශ්‍රී ලංකාව ජනරජයක් වූ 1972 දක්වා වසර 20 ක් මෙරට සම්ප්‍රදායික නිල රාජ්‍ය නායිකාව ද වූවාය.

බ්‍රිතාන්‍යයේ නව මහ රජු එම තනතුරට පත්වන 40 වැනියා වෙයි. ඔහුගේ පත්වීම නිල වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරනු ලබන්නේ ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේ රාජප්‍රාප්ති මණ්ඩලය මගිනි. ඉන් අනතුරුව රජුට අභිමත දිනයක කිරුළු පැළැඳීමේ නිල උත්සවය පැවැත්වෙනු ඇත.

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය මහ රුජින එංගලන්තයේ අගමැතිවරුන් 15 දෙනකු සමඟ කටයුතු කළ අතර ඇයගේ අවසන් නිල රාජකාරිය වූයේ බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලීස් ට්‍රස්ට් මහත්මිය බැල් මොරල් මාලිගයේදී පිළිගැනීමයි. මහ රැජනගේ ධුර කාලය තුළ ඇය දෙවරක් ශ්‍රී ලංකාවට ද පැමිණියාය.

ලෝකයේ දීර්ඝතම කාලයක් රජ කළ රාජ්‍ය නායකයන් අතර බ්‍රිතාන්‍ය මහ රැජින දෙවැනි වන්නේ තායිලන්තයේ භූම්බෝල් අතුල්‍යතේජ් රජුට පමණි.