2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

අඩු බරෙන් ජනතාව ගසාකන ජාවාරමක්

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 07:59 63

I යසවර්ධන රුද්රිගු 

බිස්කට්, සබන්, දත් බෙහෙත්, මිරිස් කුඩු, තුනපහ ආදී පාරිභෝගිකයා බහුලව පාවිච්චි කරන අත්‍යවශ්‍ය දේවල් අඩුබරට නිෂ්පාදනය කර බෙදා හරිමින් පාරිභෝගිකයා ගසා කන කූට ව්‍යාපාරයක් දිවයින පුරා ක්‍රියාත්මක වන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පවසයි. ඔහු දේශයට පැවසුවේ බොහෝ පාරිභෝගිකයන් බර ගැන නොසලකා මිල අඩු බැවින් ඒවා මිලට ගෙන අලාභ විඳින බවය.

ඇතැම් නිෂ්පාදකයන් පිරිමැසුම් මිල යැයි ප්‍රචාරය කරමින් මේවා අඩු මිලට අලෙවි කරන නමුත් සාමාන්‍ය මිල හා සැසඳීමේදී ඒ සඳහා ඉහළ මිලක් ගෙවන්නට සිදුවීමෙන් පාරිභෝගිකයාට අලාභයක් ඇතිවන බව ඔහු කියයි.

ඇතැම් බිස්කට් වර්ග ග්‍රෑම් 50, 60, 70 ආදී වශයෙන් කුඩා පැකට් තනා අඩු මිල බව හුවා දක්වමින් වෙළෙඳ පොළට නිකුත් කරන අතර නිෂ්පාදකයන් ප්‍රචාරය කරන්නේ එයින් පාරිභෝගිකයාට වාසියක් ගෙන දෙන බවය. සබන් වර්ග සහ මිරිස් ආදී කුළුබඩු පැකට්ද මෙලෙස පාරිභෝගිකයා රවටා අලෙවි කරන බව ඔහු පෙන්වා දෙයි.