2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

ආගමික මධ්‍යස්ථානවලට සෝලා සවි කරන්න - කරු ජයසූරිය

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 67

I දේශපාලන වාර්තාකරු

විහාරස්ථාන ප්‍රමුඛ සියලු ආගමික මධ්‍යස්ථානවලට බලපාන විදුලිය බිල් ප්‍රශ්නය විසඳීම සඳහා සෑම ආගමික ස්ථානයකටම 'සෝලා' විදුලි උත්පාදන පද්ධති සවිකර දෙන මෙන් තමන් රජයට යෝජනා කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ සභාපති සහ සාධාරණ සමාජයක් සඳහා වන සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා දේශයට පැවසීය.

විහාරස්ථානවල විදුලිය බිල්පත් නව ගාස්තු ක්‍රමය යටතේ එකවර හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් පන්සල් සහ සෙසු ආගමික ස්ථාන සඳහා සහනයක් සැලසීමට තමන් මෙම යෝජනාව ජනාධිපතිවරයාටත් බුද්ධශාසන අමාත්‍යංශයටත් ඉදිරිපත් කළ බවද ජයසූරිය මහතා කීය.

ඉන්දීය රජය මගින් මෙරට ආගමික අංශයේ ප්‍රවර්ධනය සඳහා වෙන්කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 15න් කොටසක් මේ සඳහා උපයෝගී කරගත හැකිය. ඒ සම්බන්ධයෙන් තමන් ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සමඟ ද සාකච්ඡා කළ බව හෙතෙම සඳහන් කළේය.

බොහෝ විදේශ රටවල විදුලිය අරපිරිමැස්ම සඳහා රාත්‍රී 12.00 වනවිට මාර්ග සංඥා පවා නිවා දමයි. එබැවින් රටේ පොදු ජනතාව ද විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කොට බලශක්ති අර්බුදයේදී ජාතික වශයෙන් සහය දැක්විය යුතු යැයි ජයසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.