චමිඳු නිසල් ද සිල්වා l
විදේශයන්ගේ සිට ශ්‍රී ලංකාවට එවනු ලබන ගමන් මලු, වෙනත් භාණ්ඩ සහ ත්‍යාග පාර්සල් නැතිවීම පිළිබඳව සහ හානිවීම පිළිබඳ ලැබෙන පැමිණිලි ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් බොහෝ දෙනකු ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි නොකරන ලද ආයතන ඔස්සේ භාණ්ඩ එවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සැප්තැම්බර් 12 වැනි දින ශ්‍රී ලංකා රේගුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි භාණ්ඩ ආනයන සේවා සපයන ආයතන මගින් පමණක් ගමන් මලු සහ ආනයනික භාණ්ඩ එවීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ලියාපදිංචිය නොමැති ආනයන සේවා සපයන සමාගම් මෙම භාණ්ඩ දේශීය හිමිකරුවන්ගේ අවසරයෙන් තොරව රේගුවෙන් නිදහස් කර ගන්නා අවස්ථාව පිළිබඳව ද දේශයට තොරතුරු ලැබී ඇත. එය රේගු නීතිය කඩකිරීමක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව දොරින් දොරට සේවා සපයනු ලබන මෙම සමාගම් රේගුවෙන් නිදහස් කරගත් භාණ්ඩ බෙදාහරින තුරු සිය ගබඩා තුළ රඳවා තැබීමේදී ඇතැම් භාණ්ඩවලට හානිවීම සිදුවන බව කියැවේ.