2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

කෝප්- කෝපා සභාවල සභාපතිවරු තෝරා ගත යුත් තේ ඡන්දයෙන්- පොහොට්ටුව මහ ලේකම්

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 44

දේශපාලන වාර්තාකරු l

පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන නීතිමය විධිවිධාන ඇතුළත් ස්ථාවර නියෝග අංක 127 (1) අනුව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාවන්හි සභාපති ධුර විපක්ෂයට ලබාදීමට කිසිදු හැකියාවක් නැතැයි පොහොට්ටුව ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මැතිසබා පක්ෂනායක කමිටුවට දැනුම් දී ඇත.

 

ඔහු මෙම දැනුම්දීම කර ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ සභාවල සභාපති ධුර විපක්ෂයට ලැබිය යුතු යැයි පක්ෂනායක හමුවේදී ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති පොහොට්ටුව මහ ලේකම්වරයා ස්ථාවර නියෝගවල රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය නිශ්චිතවම විපක්ෂයට හිමිවිය යුතු බව නියම කර ඇති බැවින් එම තනතුර විපක්ෂයට ලබාදී ඇති බව කීය. එහෙත් සෙසු සභාවන්හි සභාපතිවරුන් එම සභාවල මන්ත්‍රීන්ගේ බහුතර ඡන්දයෙන් පත්කර ගත යුතු යයි ස්ථාවර නියෝග අංක 127 (1) හි සඳහන් වන බැවින් පක්ෂනායකයන් හා කතානායකවරයා ඒ අනුව ක්‍රියාකිරීම සම්ප්‍රදාය බවද මහ ලේකම්වරයා මෙහිදී පවසා ඇත.
එහෙත් ඒ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ විපක්ෂයට මෙම තනතුරු ලබාදීම ආණ්ඩුවේ විනිවිදභාවය හා විශ්වාසය තහවුරු කිරීමට වඩාත් හොඳම ක්‍රමය බවයි.