2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

උසස් පෙළ පෙබරවාරියේ!

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:04 127

සංජීවිකා සමරතුංග l

මෙම වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මාසය දක්වා කල්දැමීමට රජය තීන්දු කර තිබේ.  රජය මෙම තීරණය ගනු ලැබූවේ පසුගිය සිකුරාදා උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ රැස්වීමකදීය. 

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් රැසකගේ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ කරුණු දැක්වීම්වල සවන් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු  මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවෙයි. 

මෙම වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී දින 98ක් ගතවීමෙන් පසු නැවතත් ඉදිරි අ.පො.ස උසස් පෙළ විභාගය තැබීමෙන් ශිෂ්‍ය ප්‍රජාවට බලවත් අසාධාරණයක් සිදුවන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා දිගින් දිගටම කරුණු දක්වා තිබුණි. එහෙත් මුලදී අධ්‍යාපන අමාත්‍යවරයා විභාගය කල් නොදමන බව ප්‍රකාශ කළේය. අනතුරුව පිවිතුරු හෙළ උරුමය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද අභියාචනාධිකරණයට තහනම් නියෝගයක් ඉල්ලා රිට් පෙත්සමක් ද ගොනු කිරීමට සැලසුම් කර තිබුණි.

මේ සියල්ල ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා මේ වසරේ විභාග ප්‍රතිඵල ලැබී විභාගයට සූදානම් වීම සඳහා දරුවන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දීමට විභාගය කල් දැමීමට තීන්දු කර ඇතැයි  දැනගන්නට තිබේ.