දේශපාලන වාර්තාකරු l
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිමය අර්බුදයකට ලක්වීමෙන් තවදුරටත් පමාවන ලකුණු පහළ වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අර්බුදය හටගත්තේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කිරීමට නම් අලුතින් පත්වන පාර්ලිමේන්තුවක් වසර 2 ½ කින් විසුරුවා හැරීමට ජනපතිට ඇති බලය වසර 4 ½ කරන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීන් කළ ඉල්ලීම ව්‍යවස්ථානුකූලව ඉටු කළ නොහැකි බවට නීතිපතිවරයා මැතිසබයේ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දීමත් සමඟය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව හමුවට කැඳවීය.
එහිදී කතානායකවරයා ප්‍රමුඛ පක්ෂ නායකයන්ට නීතිපතිවරයා උපදෙස් දුන්නේ ජනාධිපතිට මැතිසබය විසුරුවා හැරීමට ඇති බලය වසර 2 සිට වසර 4 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථාව සම්බන්ධ විවාදයේ කාරක සභා අවස්ථාවේදී සම්මත කළ නොහැකි බවය. එසේ වන්නේ එම යෝජනාව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ මූලික හරයට පටහැණි නිසා බවද නීතිපතිවරයා දැනුම් දුන්නේය. එසේම මැතිසබයේ 2/3 ක ඡන්දයෙන්වත් එවන් සංශෝධනයක් සම්මත කළ නොහැකි බවද නීතිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මැතිසබය විසුරුවීම සම්බන්ධ මෙවන් වගන්තියක් ව්‍යවස්ථානුකූලව ගෙන එන්නේ නම් ඊට වෙනම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ඊට ශ්‍රේෂ්ඨාධිකරණ මතය ද විමසිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් කීය.
මෙම සංශෝධනය නොමැති නම් පොහොට්ටු මන්ත්‍රීන් ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ නොකරන බව මේ වන විටත් ප්‍රකාශ කර ඇති බැවින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.