යසවර්ධන රුද්රිගූ I
ඉදිරියේදී ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තිරිඟු පිටි මිල අඩු නොකරන්නේ නම් සහ අඩු බර පාන්වලට එරෙහිව පියවර ගැනීම දිගටම පැවතුණහොත් රටේ පාන් නිෂ්පාදනය නැත්තටම නැති වී යාමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන පවසයි.
දේශය පුවත්පතට ඔහු ප්‍රකාශ කළේ අඩු බර පාන් අත්අඩංගුවට ගැනීම නිසා මේ වනවිට සමහර බේකරිවල පාන් නිෂ්පාදනය නවතා ඇති අතර ඇතැම් ඒවායේ පාන් ස්වල්පයක් තනා අනෙකුත් බේකරි නිෂ්පාදන තැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි. සෙසු බේකරි නිෂ්පාදනවල බර පිළිබඳ ප්‍රමිතියක් නොමැති නිසා ඒවා තනා බේකරි ව්‍යාපාරය රුකගැනීමට බේකරි හිමියන් කටයුතු කරන බව ඔහු පැවසීය. එසේ වුවද අඩු බර පාන් තැනීම තමා අනුමත නොකරන බවද ඔහු කියයි.
පසුගියදා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී සතියක් තුළ මෙම ගැටලුව විසඳන බවට ඇමැතිවරයා පොරොන්දු වූ නිසා ඒ පිළිබඳ විශ්වාසය තබාගෙන සිටින බවද ඔහු පැවසුවේය.
කෙසේ වුවද තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට මේ වනවිට අකැමැත්ත ප්‍රකාශ කර තිබේ. තිරිඟු පිටි මිල පාලනයට යටත් නොවන නිසා ඉහළ මිලට එරෙහිව නීතිමය පියවර ගත නොහැකිව ඇති බවද අනාවරණය වෙයි.