ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තවදුරටත් බලපානු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලයේ වඩාත් උග්‍රවනු ඇතැයි එහි සඳහන්ය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේදී 93.7%ක් වූ ආහාර උද්ධමනය සැප්තැම්බරයේදී 94.9% දක්වා ඉහළ ගියේය. ඒ අනුව කොළඹ නාගරික ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි අතර එය ආහාර සුරක්ෂිතතාව කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරනු ඇත. එහෙයින් අවදානමට ලක්වන ප්‍රජාව සඳහා ආධාර වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ලෝක ආහාර වැඩසටහන පියවර ගෙන තිබේ.
හදිසි ආධාර වැඩසටහන ආරම්භ කළ අගෝස්තු මස මැද භාගයේ සිට මේ දක්වා ලෝක ආහාර වැඩසටහන පුද්ගලයන් 209,344 ක් සඳහා මූල්‍යමය ආධාර ලබා දී තිබේ. මෙය 2022 දී අතිරේක පුද්ගලයන් මිලියන 3.4 ක් සඳහා කොන්දේසි විරහිත ආහාර ආධාර (මුදල් හෝ ද්‍රව්‍ය), පාසල් ආහාර සහ පෝෂණ සහාය ලබා දීම සඳහා වන වැඩපිළිවෙළෙහි එක් අංගයකි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක මුදල් සහ වවුචර පත් ජනතාවට ලබා දී තිබේ. 2022 ඔක්තෝබරයේ සිට 2023 මාර්තු දක්වා වන මාස 6ක අවදානම් කාලය තුළ දැඩි දුෂ්කරතාවට පත්වන පුද්ගලයන් 101,064 දෙනකුට මුල්‍යාධාර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 28.86 ක් අවශ්‍ය වන බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබේ.
පාසල් දරුවන් මිලියනයක් සඳහා මාස තුනක කාලයකට ආහාරවේලක් ලබා දීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 1,475 ක් සහ අයන සහිත සහල් මෙට්‍රික් ටොන් 775 ක් බෙදාහැරීමටද එම වැඩපිළිවෙළ යටතේ සිදු කිරීමට නියමිතය.