2022 නොවැම්බර් 06 වන ඉරිදා

ඇගළුම් ඇණවුම් සියයට 30කින් බසී

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 53

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ඉදිරි මාස හතර තුළ මෙරටින් අපනයනය කෙරෙන ඇඟලුම් ප්‍රමාණය 30% කින් පමණ අඩුවිය හැකි යැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා  දේශයට  ‍පැවසීය.

දැනට ලැබී ඇති ඇණවුම් ලබන ජනවාරිය දක්වා පවතින අතර ඉන්පසු කොතරම් ප්‍රමාණයකින් ලැබෙන ඇණවුම් ප්‍රමාණය අඩු වේදැයි ප්‍රකාශ කළ නොහැකි බවත් එය 30% ක් පමණ විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

2022 ජනවාරියේ සිට ජූලි දක්වා ඇමෙරිකානු ඩොලර් කෝටි 300 ක පමණ අගයකින් යුතු ඇඟලුම් අපනයනය කර තිබේ. ඉන් කෝටි 104 ඇමෙරිකා එක්සත් ජනපදයටද, කෝටි 100ක ප්‍රමාණයක් යුරෝපා සංගමයටද, එංගලන්තයට කෝටි 45 ක ප්‍රමාණයක් සහ වෙනත් රටවලට කෝටි 48 පමණ වටිනා ඇඟලුම් අපනයනය කර තිබේ. සාමාන්‍යයෙන් ඇඟලුම් අපනයනයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් කෝටි 500 කට ආසන්න ආදායමක් ශ්‍රී ලංකාව උපයා ගනී.

මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම්වලින් යම් ප්‍රමාණයක් බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, වියට්නාමය, ඉතියෝපියාව වැනි රටවලට මාරැ කර ඇත. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය යැයි ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එමෙන්ම ඇමෙරිකාව ඇතුළු ලොව බොහෝ රටවල නිර්මාණය වී ඇති ආර්ථික උද්ධමනයද ඇණවුම් අවම වීමට බලපා තිබේ. රුසියානු - යුක්රේන යුද්ධය හා රැසියානු ගෑස් සැපයුම අඩාල වීමත්, ඉන්ධන මිල ඉහළ යෑමත්, යුරෝපීය රටවල නිර්මාණය වී ඇති උද්ධමනයත් හේතුවෙන් අපේ ඇඟලුම් සඳහා වන ඉල්ලුමද පහත වැටී ඇත.