I චමිඳු නිසල් ද සිල්වා
පසුගිය වසරට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් ගත වූ මාස 11ක කාලය තුළ සංචාරකයන් හයලක්ෂ විසිහය දහස් අසූහය දෙනකු මෙරට සංචාරයේ නිරතව ඇති අතර ඒ අතරින් එක්ලක්ෂ පන්දහසක් වන බහුතරය ඉන්දියානු සංචාරකයන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර්තාව හෙළිදරව් කරයි.
මේ වසරේ සංචාරක පැමිණීම සැලකීමේදී හැත්තෑ හත්දහස් එකසිය දාහතක සංචාරක පැමිණීම සටහන් කළ බ්‍රිතාන්‍යය දෙවැනි ස්ථානයටත්, හැත්තෑදහස් අටසිය හැටදෙකක සංචාරක පැමිණීමක් සටහන් කළ රුසියාව තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි. කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ වැඩි පැමිණීම සටහන් කර ඇත්තේ රුසියානු සංචාරකයන්ය.
නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම් පනස්හත් දහස් අටසිය විසිඅටක් ලෙස සටහන්ව ඇති අතර අවසන් සතියේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ. ඊට හේතුව වී ඇත්තේ සුඛෝපභෝගී සංචාරක නෞකා මෙරට සංචාරයට පැමිණීමය. 2021 වසරේ සමස්ත සංචාරක පැමිණීම එක්ලක්ෂ අනූහතර දහසක් පමණ වූ බැවින් 2022 වසරේ සංචාරක පැමිණීම වාර්තාගත තත්ත්වයකි. මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට ලබන අප්‍රේල් මාසය දක්වා මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනයක් සිදුවෙතැයි සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් විශ්වාසය පළ කරති.