2022 දෙසැම්බර් 18 වන ඉරිදා

අයි.එම්.එෆ්. ණයට ලිඛිත සහතිකයක් අවශ්‍යමලු

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 50

සංජීවිකා සමරතුංගI

 යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහාය දෙන බවට ශ්‍රී ලංකාවට ආධාර කරන ප්‍රධාන රටවල් හා සංවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්. ආයතනයට) ලිඛිත සහතිකයක් ලබාදෙනතුරු මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය අනුමත නොකරනු ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙහිදී චීනය, ඉන්දියාව සහ ජපානය යන ප්‍රධාන ආධාරක රටවල් තුනද පැරිස් ආධාර කණ්ඩායමේ රටවල්ද, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සෙසු රටවල්ද මෙම ලිඛිත සහතිකය සඳහා අනුමැතිය ලබාදිය යුතු බව මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙන බව දැනගන්නට ඇත.

එහෙත් ඊට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තු පනතක් මගින් ස්වාධීන ආයතනයක් කළ යුතු බවටත් විදුලිය ගාස්තු ඉහළ දැමිය යුතු බවටත් මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

ජනවාරි මස දෙවැනි සතියේ මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට පෙර රජය විසින් මෙම කොන්දේසි ඉටුකර ආධාරක රටවල නිර්දේශයද ලබාගතහොත් ශ්‍රී ලංකාවට වෙන්කර ඇති ඩොලර් කෝටි 290ක ණය මුදලේ මුල් කොටස ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.