යසවර්ධන රුද්රිගුI
රජය ආනයනය කර අලෙවි කරන බිත්තරවල මිලට වඩා අඩුවෙන් තම සංගමය බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක දේශයට පැවසීය.
එම මිල කීයද යන්න පැවසිය හැක්කේ රජය ආනයනය කරන බිත්තර අලෙවි කරන මිල දැන ගැනීමෙන් පසුව බවත් ඔහු කියයි. රජය ආනයනය කරන බිත්තර රුපියල් 42ක් මිල වන බව දැනගන්නට ලැබී ඇති නමුත් එහි නිශ්චිත මිල කීයද යන්න ස්ථීරව පැවසිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කීය.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර අපේ රටේ බිත්තරවලට වඩා කුඩා වන අතර එය ග්‍රෑම් 35ක් පමණ වන නමුත් තමන්ගේ නිෂ්පාදනවල බර ග්‍රෑම් 55ක් පමණ වන බවද ඔහු කියයි. ඒවායේ කල් ඉකුත්වන දිනයක්ද සඳහන් කර ඇත. සාමාන්‍යයෙන් බිත්තරයක් ගබඩා කර තබාගත හැකි වන්නේ සති දෙකක පමණ කාලයක් වන නිසා අඩු මිලට හෝ එයට පෙර අලෙවි කළ යුතු වෙයි. ආහාර ඇතුළු නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති නිසා බිත්තරයක් රුපියල් 55ට අඩුවෙන් අලෙවි කිරීම දුෂ්කර නමුත් පවතින වාතාවරණය හමුවේ අඩු මිලට අලෙවි කිරීමට සිදුවන බවද ඔහු අනාවරණය කළේය.