එකම සූත්‍රය මිල නැග්ගීම- රන්ජන් ජයලාල්
සූත්‍ර නෑ: සූත්තර පුංචලා ඉන්නවා- ජනක රත්නායක
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
විදුලිබල මණ්ඩලය ගල්අඟුරැ සහ ඉන්ධන සඳහා වන පිරිවැය අනුව මිල සූත්‍රයක් සකස් කරන බවට ප්‍රකාශ කළද එවැන්නක් සිදු නොවන බවත්, ඔවුන්ගේ එකම සූත්‍රය සියයට ගණනකින් විදුලි බිල වැඩි කිරීම පමණක් බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරැ රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි. පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වුවද එහි සහනය ජනතාවට ලබා දීමට කටයුතු නොකළ ආකාරයටම විදුලිබල මණ්ඩල මිල සූත්‍රය ද ක්‍රියාත්මක වනු ඇති බවත් එයින් මහජනයාට කිසිදු සහනයක් හිමි නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ මිල සූත්‍රයක් නොව මිල සැකසීමේ ක්‍රමවේදයක් පමණක් පවතින බවයි. එම ක්‍රමවේදයට පරිබාහිරව මිල සූත්‍රයක් නොමැති බවත් විදුලිබල මණ්ඩලයේ සිටින්නේ සූත්තර පුංචලා පමණක් බවත් ඔහු සඳහන් කළේය.
2023 ජනවාරි පළමුවැනිදා සිට වසරකට දෙවරක් යළි විදුලි බිල සංශෝධනය කිරීමට පසුගියදා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ අතර ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු සහ ඉන්ධන මිල පහළ යන අවස්ථාවන්හි හා ජල විදුලිය වැඩියෙන් නිපදවන අවස්ථාවන්හි වියදම් අඩුවන විට එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
මෙම අනුමැතිය හිමිවූයේ යළි විදුලි බිල වැඩි කිරීමෙන් තොරව තවදුරටත් අඛණ්ඩව විදුලිය ලබා දීමට හැකියාවක් නොමැති යැයි අමාත්‍යංශයේ උසස් නිලධාරින් හා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් පෙන්වා දී ඇතැයි සඳහන් කරමින් විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 2023 විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවටය. ඒ අනුව ඉදිරියේදී විදුලිය බිල වැඩිවන අතර මෙම තත්ත්වයෙන් ගැලවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට ගත හැකි යම් සහන තිබේ නම් එම සහන නිර්දේශ කිරීම සඳහා 2023 පෙබරවාරි 15 දින දක්වා කාලය ලබා දී තිබේ.