අධිකරණ වාර්තාකරු I
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායක ජනාධිපතිවරයකුට දඩයක් නියම කරමින් ලබා දුන් දෙවැනි නඩු තීන්දුව බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙයි.
මෙයට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව 2009 දී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ශිරානි තිලකවර්ධන හා නිමල් දිසානායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රුපියල් ලක්ෂ 20ක දඩ මුදලක් නියම කළේය. ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් ඉඩම ජාත්‍යන්තර රැම්සා පරිසර ප්‍රඥප්තිය උල්ලංඝණය කරමින් රොනී පීරිස්ට පැවරීම සම්බන්ධයෙන් පැවති නඩුවකදීය.
ඉන් අනතුරුව හිටපු විධායක ජනාධිපතිවරයකුට එරෙහිව දැවැන්ත දඩ මුදලක් නියම කළේ පාස්කු ප්‍රහාර නඩු තීන්දුවේදීය. එය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුවකි. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට රුපියල් දස කෝටියක දඩයක් නියම කළේය. ඔහුගේ රජයේ තවත් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධරයන් ගණනාවකටද දඩ නියම විය.
මෙම නඩු තීන්දුව සම්බන්ධව දේශය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී සිදුකර ඇත්තේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ප්‍රදානයක් පමණක් බවය. මෙය අපරාධ නඩුවක් නොවන අතර මූලික අයිතිවාසිකම් නඩුවකි. එමගින් දඬුවම් ලැබූ අයගේ ප්‍රජා අයිතිය අහිමි නොවන බවද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.